ඉඳූරන් සංවරකරගනිමු

සංවර ඉඳූරන්ගෙන් යුක්තව වාසයකරන කෙනාගෙ හිත, කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. එයාට ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් වල සටහන් නිමිති ගැන හිත හිතා ඉන්ට දෙයක් නෑ. ඒ දේවල් අතහැරල නිසා එයාගෙ හිත කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. ඒ කියන්නෙ නීවරණ බලවත් වෙන්නෙ නෑ, නීවරණ වලට ආහාර සැපයීමක් නෑ. ඉතින් එබඳූ කෙනෙකුගේ සිත නැවුම්, ප්‍රමුදිතයි කියන්නෙ ඒකයි. බොහොම පහසුවෙන් බණ භාවනා කිරීමට එයාගේ හිත නැවෙනව, එයා ප්‍රබෝධයෙන් වාසය කරන්නෙ. එයා බණ භාවනා කරන්නෙ තව කෙනෙක්ගේ බලපෑමට නොවෙයි. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ඇයි, එයා ප්‍රබෝධයෙන් ඉන්නෙ. ප්‍රමුදිතබව කියන්නෙ එහෙම එකක්. තව කෙනෙකුගේ බලපෑමකට නෙවෙයි එයා කටයුතු කරන්නෙ. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ආකාසේ පැහැදිලි දවසට උදේට ඉර පායනකොට, ඒ පරිසරය නැවම්, ප්‍රබෝධයක් තියෙනව. අන්න ඒ වගේ තමයි, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසයකරන කෙනාගේ සිත කෙලෙස්වලින් තෙමිල නෑ. ප්‍රබෝධය කියන්නෙ එහෙම එයාට කම්මැලිකම්, අපහසුකම්, පීඩා ස්වභාවයන් නෑ. ප්‍රබෝධයෙන් වාසයකරන්නවා, හිතේ කරදර නෑ, පහසුයි. එයා තමන්ගේ කැමැත්තෙන් කටයුතු කරනව, කැමැත්තෙන් ම පොත පත බලනව, ධර්මය අහනව, ධර්ම සාකච්ඡා කරනව. කලට වෙලාවට එයා කටයුතු කරනව. එයා තුළ ධර්මයේ හැසිරීමට උපන් කැමැත්තක් තියෙනව. එයා වාද බේද කරගන්නෙ නෑ. එයා නිසා ආරවුල් හටගන්නෙ නෑ. ඇයි ඒ වාද බේද ආරවුල් හටගන්නෙ මේ හිත ඇතුලෙ තියෙන යුද්ධයෙන්. හිත අසංවරනම්, ඒ හිත ඇතුලෙ යුද්ධයක්නෙ. ඒව තමයි වචන විදිහට, කායික ක්‍රිය විදිහට එළියට එන්නෙ. වාචසික ක්‍රියා විදිහට එන්නෙ මේ හිත ඇතුලේ තියෙන අරගලය. ඉන්ද්‍රියන් සංවරකරපු කෙනාගේ සිත කෙලෙස්වලින් තෙමිල නෑ. ප්‍රමුදිතයි. එයාගෙ ජඩ හිත යම් මෙල්ලවීමක් තියෙනව. ඉතින් එයාගෙන් ආරවුල් හටගන්නෙ නෑ. එයා සතුටින් වාසයකරන කෙනෙක්. අපි කැමති හිතේ අසංවරභාවයෙන්, අපහසුභාවයෙන් වාසය කරන්නද නැවුම් සිතින් වාසය කරන්නද? ප්‍රබෝධයෙන් වාසයකරන්ට අපි කැමතිවෙන්න ඕනැ. ඒක හරි ප්‍රියමනාපයි. සුන්දරයි, සැප සහිතයි, පහසුයි. අපහසුකම් නෑ. ඉතින් එබඳූ පහසුවකින් වාසයකරන්ට නම්, අපි කැමතිවෙන්ට ඕනැ මොකටද? සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසයකරන්න. ඉන්ද්‍රිය සංවරකරගන්න කෙනාට හිත කෙලෙස්වලින් තෙමෙන ස්වභාවය වළක්වගන්න පුළුවන්. එයාට කෙලෙස්වලින් යටවෙලා අපහසුවෙන් ඉන්න ස්වභාවය නැතිකරගන්ට පුළුවන්. ඒක ධර්මතාවයක්. ප්‍රමුදිතව ඉන්න කෙනා තමන්ගේ කැමැත්තෙන් ම බණ භාවනා කරනව. එයා පිරිසටත් ප්‍රිය ශීලියි. ඒ විදිහට බණ භාවනා කරන කෙනා තුළ ටික ටික නීවරණ බි‍ඳෙන්ට පටන්ගන්නව. නීවර්ණ හිතේ දුරුවෙලා යනව. නීවරණ දුරුවෙන්ට දුරුවෙන්ට හිතේ විවේකය හටගන්නව. විවේකීව බණ භාවනාකරන්ට එයාට පුළුවන්. ඒ හිතේ තියෙන විවේකය හේතුකොටගෙන ප්‍රීතිය ඇතිවෙනව. භාවනා කරනකොට ඇතිවෙන ප්‍රීතිය ගැනයි මේ කියන්නෙ. ප්‍රීතියෙන් යුක්තව එයා භාවනා කරනව. ප්‍රීතියෙන් යුක්තව බණ භාවනාකරන කෙනාට කායික පහසුව ඇතිවෙනව. කය සැහැල්ලුවෙනව. එතකොට එයාට ඉතාම පහසුවෙන් භාවනා කරන්ට පුළුවන්. කයට අපහසුවක් නෑ. ඒ පහසුවෙන් බණ භාවනා කරනකොට හිතේ සැපය ඇතිවෙනව. එයා සැපසේ භාවනා කරනව. ඒ සැප සේ භාවනා කරන කෙනා තුළ සමථ, විදර්ශනා ධර්මයන් පහළවෙනව, සමාධිය උපදිනව. එතෙනදි සමාධිය කියල කියන්නෙ බලවත් සමාධි. අන්න එයා ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ "අප්‍රමාදී කෙනා" කියලයි. එයාට නිවන් මගේ ප්‍රමාදයක් නෑ. එයා අප්‍රමාදීව වාසය කරන කෙනෙක්. අපි කැමති වියයුත්තේ කොයි වගේ කෙනෙක් වෙන්ටද? අප්‍රමාදී කෙනෙක් වෙන්ට සියලු දෙනාම කැමතිවෙන්න. ප්‍රමාදීව වාසය කරන්ට අකමැතිවෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

මාන්නය බැහැරකරමු

අත්හැරීමෙන් දිනන්න කැමතිවෙන කෙනාට එපමණකින් ම සැප ලැබෙනව. එහෙනම් අපි අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය ලබන්ට කැමතිවෙන්ට ඕනැ. 
  • ඒ නිසා හිතට එන අකුසලය අතහරින්න පුරුදුවෙන්න.ඊරිසියාව අතහරින්න පුරුදුවෙන්න,
  • එකට එක කරන ගතිය අතහරින්න පුරුදුවෙන්න.
  • ගුණමකුකම අතහරින්න පුරුදුවෙන්න,
  • අනුන්ගේ ඇද හොයන ගතිය අතහරින්න පුරුදුවෙන්න,
  • කම්මැලිකම අතහරින්න පුරුදුවෙන්න, මාන්නය අතහරින්ට පුරුදුවෙන්න.
  • ඒ විදිහට රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතට එනකොට ඒව අතහරින්න පුරුදුවෙන්න.
ඒ විදිහට අකුසලය අතහරින්ට අපිට පුළුවන්වුනොත් එයා සැබෑම ජයග්‍රහණය අත්කරගන්න කෙනෙක් බවට පත්වෙනව. අත්හැරීමෙන් හොඳම අත්හැරීම තමයි අකුසලය අත්හරින එක. අමාරු ම දේත් ඒකම තමයි. හිතට එන අකුසලය අතහරින්න අමාරුයි. ඒකම අල්ලගෙන ඒකටම යටවෙලා ජීවිතය විනාශකරගන්ට කල්පනාකරන ලෝකයක් තමා තියෙන්නෙ. ඉතින් අපි කැමතිවෙන්ට ඕනැ, හිතට එන අකුසලය අතහරින්ට. විශේෂයෙන් අපිට අකුසලය අතහැරගන්ට බැරිවයනව මාන්නය, ආඩම්බරය බලවත් වෙනකොට. ඒක තමා අතහැරගන්ට තියෙන අමාරුම දේ. ඒකට හේතුව තමයි, මා ලඟ මාන්‍නය තියෙනවා කියල කෙනෙකුට අඳූරන්ට බෑ. කෙනෙකුට රාගය ආවොත් රාගය අඳූරගන්ට පුළුවන්වෙයි. අපි හිතමු කෙනෙකුට රාගය එනව, නමුත් ඒ මොහොතේ එයාට අඳූරගන්ට බෑ. එනිසා එයාගෙ සිල් බි‍ඳෙන්න පුළුවන්. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ රාගය තිබ්බ, සිල් බිඳූන" කියල. කෙනෙකුට ද්වේෂය එනව, අඳූරගන්ට බෑ. ඔන්න කාටහරි බනිනව, ගහනව. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ ද්වේෂය ඉපදුනා" කියල. හැබැයි ආඩම්බරය මාන්නය කියන එක එහෙම අල්ලන්න බෑ. ඒක තමා තියෙන භයානකබව. මා ලඟ මාන්නය තියෙන්නෙ කියල හොයන්න බෑ. හොයන්ට බැරිනිසා ඒක උපදින්න ඉඩදෙන්ට හොඳ නෑ. ඒක නැතිවෙන විදිහක් තියෙනවනේ, අන්න ඒ නැතිකරන විදිහ පුරුදුකරන්න ඕනැ. එතකොට කලකදී ඒක ගෙවිලයනව.

ඒ ආඩම්බරය මාන්නය නැතිකරගන්ට පුළුවන් විදිහවල් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව. අන්න ඒ ධර්මයන් පුරුදුකරන්න. ඒ ධර්මයන් පුරුදුකළොත් මාන්නය, ආඩම්බරය ගෙවිලයයි. එහෙම නැත්නම් අපිට දවසින් දවස, මොහොතින් මොහොත මේ ඉගෙනගන්න දේවල් මුල්කරගෙන පවා ආඩම්බරය මාන්නය තමයි වැඩිල එන්නෙ. භාවනා මුල්කරගෙන හෝ වේවා, දහම් දැනුම මුල්කරගෙන හෝ වේවා ආඩම්බරය මාන්නය වැඩිල ආවොත් අපිට මුකුත්කරන්ට බෑ, අපි වැනසිලා යනව. රාගය නැතිකරගන්න කෙනෙක් කැමතිවෙයි. ඒත මාන්නය නැතිකරගන්න කැමතිවෙන්නෙ නෑ. ඇයි එයාට ඒක ආරක්ෂාවක් වගේ පේන්නෙ. රාගය හානියක් වගේ පෙනෙයි කෙනෙකුට, නමුත් මාන්නය හානියක් කියල පේන්නෙ නෑ. එයාට හිතෙයි "මට තත්වයක්" කියල. ඉතින් ඒ තත්වයෙන් පහතට යන්ට කැමතිද එයා. අන්න ඒකයි භයානකකම කියල කියන්නෙ. ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. සමාජ තත්වයක් වගේ පේනව. සමාජ තත්වය නැතිවුණ ගමන් හීනමානෙ. "මට පහර වැදුනා" කියල කල්පනා කරනව. භයානකයි නේද? ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. අන්තිමට අන්න එබඳූ ස්වභාවයන්ට අපේ ජීවිතේ කැරකිලා යනව අන්තිමට. භයානකයි. ඒ නිසා දැන් දැන් ඉඳල ම තේරුම්ගන්න මාන්නය කියන එක අපිට ආවොත් ඒ දෙය මුල්කරගෙන තියෙන වටිනාම සම්පත් වුනත් අතහරින්ට එයා කැමතිවෙනව. සමාජ තත්වයක් ගැන හිතනව නම් ආඩම්බරය මාන්‍නය වැඩෙනව. තමන්ට තත්වයක් ගැන කල්පනාකරන කෙනාත් ආඩම්බරය මාන්නයම තමයි දියුණුකරගෙන තියෙන්නෙ. පිළිගත්බවක් කල්පනාකරන කෙනා, එහෙම නැත්නම් "මම මේ මේ විදිහට යමක් කලා" කියල කල්පනා කරනකොටත් ආඩම්බරය මාන්නය තමයි එන්නෙ. තමා පිළිගත් කෙනෙක් කියල කල්පනා කිරීම තුළත් ආඩම්බරය මාන්‍නය වැඩෙනව. මේ ආඩම්බරය මාන්‍නය අපේ ජීවිතය මුළුමනින් ම විනාශකරල දාන එකක් බවට පත්වෙනව. ඒක වැඩෙන එකක්. නිකන් හිටියත් වැඩිල එනව. මේ මහ පොළොවෙ වල් ආදී දේවල් වැඩෙනවට වඩා වේගයෙන්, කටු පඳූරු වැඩෙනවට වඩා වේගයෙන් අපිට මේ ආඩම්බරය මාන්නය එනව. ඒ නිසා අපි ආඩම්බරය මාන්නයට ඉඩදෙන්ට එපා. ඒක නැතිකරන්ට සියලු දෙනාම කැමතිවෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි