මාන්නය බැහැරකරමු

අත්හැරීමෙන් දිනන්න කැමතිවෙන කෙනාට එපමණකින් ම සැප ලැබෙනව. එහෙනම් අපි අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය ලබන්ට කැමතිවෙන්ට ඕනැ. 
  • ඒ නිසා හිතට එන අකුසලය අතහරින්න පුරුදුවෙන්න.ඊරිසියාව අතහරින්න පුරුදුවෙන්න,
  • එකට එක කරන ගතිය අතහරින්න පුරුදුවෙන්න.
  • ගුණමකුකම අතහරින්න පුරුදුවෙන්න,
  • අනුන්ගේ ඇද හොයන ගතිය අතහරින්න පුරුදුවෙන්න,
  • කම්මැලිකම අතහරින්න පුරුදුවෙන්න, මාන්නය අතහරින්ට පුරුදුවෙන්න.
  • ඒ විදිහට රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතට එනකොට ඒව අතහරින්න පුරුදුවෙන්න.
ඒ විදිහට අකුසලය අතහරින්ට අපිට පුළුවන්වුනොත් එයා සැබෑම ජයග්‍රහණය අත්කරගන්න කෙනෙක් බවට පත්වෙනව. අත්හැරීමෙන් හොඳම අත්හැරීම තමයි අකුසලය අත්හරින එක. අමාරු ම දේත් ඒකම තමයි. හිතට එන අකුසලය අතහරින්න අමාරුයි. ඒකම අල්ලගෙන ඒකටම යටවෙලා ජීවිතය විනාශකරගන්ට කල්පනාකරන ලෝකයක් තමා තියෙන්නෙ. ඉතින් අපි කැමතිවෙන්ට ඕනැ, හිතට එන අකුසලය අතහරින්ට. විශේෂයෙන් අපිට අකුසලය අතහැරගන්ට බැරිවයනව මාන්නය, ආඩම්බරය බලවත් වෙනකොට. ඒක තමා අතහැරගන්ට තියෙන අමාරුම දේ. ඒකට හේතුව තමයි, මා ලඟ මාන්‍නය තියෙනවා කියල කෙනෙකුට අඳූරන්ට බෑ. කෙනෙකුට රාගය ආවොත් රාගය අඳූරගන්ට පුළුවන්වෙයි. අපි හිතමු කෙනෙකුට රාගය එනව, නමුත් ඒ මොහොතේ එයාට අඳූරගන්ට බෑ. එනිසා එයාගෙ සිල් බි‍ඳෙන්න පුළුවන්. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ රාගය තිබ්බ, සිල් බිඳූන" කියල. කෙනෙකුට ද්වේෂය එනව, අඳූරගන්ට බෑ. ඔන්න කාටහරි බනිනව, ගහනව. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ ද්වේෂය ඉපදුනා" කියල. හැබැයි ආඩම්බරය මාන්නය කියන එක එහෙම අල්ලන්න බෑ. ඒක තමා තියෙන භයානකබව. මා ලඟ මාන්නය තියෙන්නෙ කියල හොයන්න බෑ. හොයන්ට බැරිනිසා ඒක උපදින්න ඉඩදෙන්ට හොඳ නෑ. ඒක නැතිවෙන විදිහක් තියෙනවනේ, අන්න ඒ නැතිකරන විදිහ පුරුදුකරන්න ඕනැ. එතකොට කලකදී ඒක ගෙවිලයනව.

ඒ ආඩම්බරය මාන්නය නැතිකරගන්ට පුළුවන් විදිහවල් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව. අන්න ඒ ධර්මයන් පුරුදුකරන්න. ඒ ධර්මයන් පුරුදුකළොත් මාන්නය, ආඩම්බරය ගෙවිලයයි. එහෙම නැත්නම් අපිට දවසින් දවස, මොහොතින් මොහොත මේ ඉගෙනගන්න දේවල් මුල්කරගෙන පවා ආඩම්බරය මාන්නය තමයි වැඩිල එන්නෙ. භාවනා මුල්කරගෙන හෝ වේවා, දහම් දැනුම මුල්කරගෙන හෝ වේවා ආඩම්බරය මාන්නය වැඩිල ආවොත් අපිට මුකුත්කරන්ට බෑ, අපි වැනසිලා යනව. රාගය නැතිකරගන්න කෙනෙක් කැමතිවෙයි. ඒත මාන්නය නැතිකරගන්න කැමතිවෙන්නෙ නෑ. ඇයි එයාට ඒක ආරක්ෂාවක් වගේ පේන්නෙ. රාගය හානියක් වගේ පෙනෙයි කෙනෙකුට, නමුත් මාන්නය හානියක් කියල පේන්නෙ නෑ. එයාට හිතෙයි "මට තත්වයක්" කියල. ඉතින් ඒ තත්වයෙන් පහතට යන්ට කැමතිද එයා. අන්න ඒකයි භයානකකම කියල කියන්නෙ. ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. සමාජ තත්වයක් වගේ පේනව. සමාජ තත්වය නැතිවුණ ගමන් හීනමානෙ. "මට පහර වැදුනා" කියල කල්පනා කරනව. භයානකයි නේද? ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. අන්තිමට අන්න එබඳූ ස්වභාවයන්ට අපේ ජීවිතේ කැරකිලා යනව අන්තිමට. භයානකයි. ඒ නිසා දැන් දැන් ඉඳල ම තේරුම්ගන්න මාන්නය කියන එක අපිට ආවොත් ඒ දෙය මුල්කරගෙන තියෙන වටිනාම සම්පත් වුනත් අතහරින්ට එයා කැමතිවෙනව. සමාජ තත්වයක් ගැන හිතනව නම් ආඩම්බරය මාන්‍නය වැඩෙනව. තමන්ට තත්වයක් ගැන කල්පනාකරන කෙනාත් ආඩම්බරය මාන්නයම තමයි දියුණුකරගෙන තියෙන්නෙ. පිළිගත්බවක් කල්පනාකරන කෙනා, එහෙම නැත්නම් "මම මේ මේ විදිහට යමක් කලා" කියල කල්පනා කරනකොටත් ආඩම්බරය මාන්නය තමයි එන්නෙ. තමා පිළිගත් කෙනෙක් කියල කල්පනා කිරීම තුළත් ආඩම්බරය මාන්‍නය වැඩෙනව. මේ ආඩම්බරය මාන්‍නය අපේ ජීවිතය මුළුමනින් ම විනාශකරල දාන එකක් බවට පත්වෙනව. ඒක වැඩෙන එකක්. නිකන් හිටියත් වැඩිල එනව. මේ මහ පොළොවෙ වල් ආදී දේවල් වැඩෙනවට වඩා වේගයෙන්, කටු පඳූරු වැඩෙනවට වඩා වේගයෙන් අපිට මේ ආඩම්බරය මාන්නය එනව. ඒ නිසා අපි ආඩම්බරය මාන්නයට ඉඩදෙන්ට එපා. ඒක නැතිකරන්ට සියලු දෙනාම කැමතිවෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි